Sinhala News Details

img

හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමට. 07.05.2022

ඊයේ (මැයි 06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය කියා සිටී.

කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිවිපාක සහිත සාධක ගණනාවක සමස්ත ප්‍රථිපලය ලෙස ශ්‍රී ලංකාව දැන් නිදහසින් පසු බරපතලම ආර්ථික සමාජ අර්බුදයටත් දේශපාලන අස්ථාවරත්වයටත් ගොදුරු වී ඇත. ඉන් ගොඩ එනු පිණිස අපේ දේශපාලන, ආර්ථික, සමාජ දේහයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ සමූහයක් කළ යුතු බව පොදු පිළිගැනීම වී තිබේ. හැකි කෙටිම කාලය ඇතුලත විනිමය හිඟය කළමනාකරණය, භාණ්ඩ හා සේවා සැපයුම් යාථාතත්වයට පත්කිරීම ඒ අතර ප්‍රමුඛත්වය ගනී.

මහානායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, සෙසු පූජකවරු, ආර්ථික විශේෂඥයන්, ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥයන් සහ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් අර්බුදය ජයගැනීමට කළයුතු ප්‍රතිසංස්කරණ කවරේදැයි ගතවූ කාලය තුල පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය පසුගිය අප්‍රේල් 23 දා ප්‍රකාශයට පත්කළ නිවේදනයෙන් ප්‍රතිසංස්කරණ යෝජනා රැසක් හඳුන්වා දුන්නේය. රට හමුවේ ඇති  හදිසිතම අභියෝගය ආර්ථික හා ණය අර්බුදය කෙටි කාලක් ඇතුලත කළමනාකරණය කිරීමයි. ප්‍රතිසංස්කරණ ආරම්භකොට ඉදිරියට ගෙන යාමට සමත් ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් තිබීම මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව බව නීතීවේදීන්ගේ සංගමය විසින් අවධාරණය කෙරිණ.

මුල්‍ය සහන ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහකරණය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ බහුපාර්ශ්වික ආයතන සහ මිතුරු රටවල් සමග සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබේ. ඊට සාධනීය ප්‍රතිචාර පලවී ඇත. ඒවායේ සාර්ථකත්වය පිණිස අවශ්‍ය ශක්තිය සහ විශ්වාසය ගොඩ නැගීමට දේශපාලන ස්ථාවරත්වය සහ සමාජ සාමය ප්‍රධානම කොන්දේසියකි.

දැන් දින ගණනාවක සිට අගනුවර ඇතුළු රටපුරාම පාහේ සංවිධාන කෙරෙන ආවේගශීලී විරෝධතා ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් වී ඇත. ඉන්ධන සැපයුම ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධා පැමිණ තිබේ. දුම්රිය සහ පොදු මගී ප්‍රවාහනය අඩාල වී ඇත. රෝහල්වල දෛනික කාර්යයන්ට බාධා ඇතිවීමෙන් රෝගීහු පීඩාවට පත්ව සිටිති. ඇඟළුම් ඇතුළු නිෂ්පාදන කර්මාන්ත වල වැඩ විටන් විට ඇන හිටියි. දරුවනට පාසල් යාමට නොහැකි වී ඇත. රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම කම්හල් සහ ආයතනවල සේවකයනට සේවයට වාර්තා කිරීමට අපහසු වී තිබේ.  මේ විරෝධතා ජන ජීවිතය අඩාල කිරීමට අමතරව ආර්ථික අර්බුදය තවත් උත්සන්න කරයි.

එබැවින් මහජන ආරක්ෂාව සහ ජන ජීවිතය සුකරක්ෂිත කිරීම, අත්‍යාවශ්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම පොදු ජනතාවට නිදහසේ ගමන් බිමන් යාම සහතික කිරීම යන අරමුණු සපුරා ගැනීම පිණිස මහජන ආරක්ෂක ආඥා පනතින් ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව හදිසි අවස්ථා නීතිය බලාත්මක කෙරිණ. හදිසි නීතිය පැනවූයේ අර්බුදය සමනය කිරීමේ කෙටි කාලීන පියවරක් වශයෙන් පමණි. යථාතත්වය උදා වූ වහාම එය ඉවත් කරනු ලැබේ.